බඹරුන් අනිද්දී මිනිය දමා පැන යති

මියගිය 79 හැවිරිදි අයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීමට සොහොන වෙත රැගෙන යමින් සිටියදී අතරමග බඹර ප්‍රහාරයක් එල්ල වීම නිසා දේහය සහිත පෙට්ටිය බිම දමා දිවගිය පිරිසෙන් අට දෙනෙකු බඹර ප්‍රහාරයට ලක්ව ගලහ හා පේරාදෙණිය රෝහල්වලට ඇතුළත් කොට තිබේ.
ගම්‍පොළ පුපුරැස්ස, ලෙවලන් වත්තේ පදිංචි පිරිසක් මෙම අකරතැබ්බයට මුහුණ පා තිබේ.
අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට රැගෙන යාමේදී මග දෙපස පත්තු කළ රතිඤ්ඤාවලට  මෙම බඹරුන් ඇවිස්සී පිරිසට පන්න පන්නා ප්‍රහාර එල්ල කර තබේ.

බඹර ප්‍රහාරයෙන් බේරීම සඳහා මිනිය වළ දැමීමට  කපා තිබූ වළ තුළට සිව්දෙනෙකු පැන ඇති අතර ඔවුන්ට විශාල ලෙස බඹර ප්‍රහාර එල්ලවීමෙන් ඔවුන්ද රෝහල්ගත  පිරිස අතර වේ.

මේ අතර සිටි දස හැවිරිදි ළමයෙකු සහ හතළිස් හැවිරිදි අයෙකු ගලහ රෝහලෙන් පේරාදෙණිය රෝහල වෙත යවා තිබේ.
සිද්ධියෙන් පැය දෙකකට පමණ පසු සවස ඇඳිරි වැටීගෙන එන විට පන්දම් දල්වාගෙන ගොස් මග දමා තිබූ මිනී පෙට්ටිය  භූමදානය කොට ඇත.

බඹර ප්‍රහාරයට සියල්ලන් පැන ගිය මුත් පිරිස නැවත පැමිණෙන විට මියගිය පුද්ගලයාට හිතවත්ව සිටි බල්ලෙකු පිරිස පැමිණෙන තුරු පෙට්ටිය අසලට වී මිනිය ආරක්ෂා කරමින් සිටින අයුරු පිරිස දැකීමෙන් විමතියට පත්ව තිබේ.

කෙසේ නමුත් කඳුකරයේ බඹර ව්‍යාප්තිය වැඩිවීමෙන් සාමාන්‍ය ජන ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති අතර මීට පෙරද මේ ආකාරයෙන්ම නාවලපිටිය ප්‍රදේශයේ වත්තක පිරිසක් මිනියක් වළ දැමීමට ගොස් බඹර ප්‍රහාරයකට ලක් වීම නිසා එම මිනියද මග දමා දිව යාමට   ඔවුන්ට සිදු වී තිබුණි.
Previous Post Next Post