රජයේ වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක්

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තාවේ.

කෙසේවෙතත් මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ කුමන දිනයකදී දැයි මෙතෙක් තහවුරු වී නොමැත.

පකිස්තාන සයිබර් ප්‍රහාරකයන් කණ්ඩායමක් විසින් එය සිදු කළ බව ඔවුන් එම වෙබ් අඩවියේ සඳහන් කර ඇත.













පකිස්තානයට ජය වේවා, ස්ලාම් දහමට ජය වේවා, මුස්ලිම්වරුන්ට ජය වේවා, පකිස්තානු යුද හමුදාවට ජය වේවා සහ පකිස්තාන අයි.එස්.අයි කණ්ඩායමට ජය වේවා යනුවෙන් ඔවුන් එහි සටහන් කර තිබේ.

මෙම හැකර්වරුන් විසින් ආදළ වෙබ් අඩවිය හැක් කිරීමෙන් අනතුරුව එහි පණිවුඩයක්ද සටහන් කර ඇති අතර එහි දැක්වෙන්නේ කාශ්මීරය, සිරියාව සහ පලස්තීනය යන රටවල් නිදහස් විය යුතු බවයි.

මුහම්මද් බිලාල් යනුවෙන් හඳුන්වන කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය දියත් කර ඇති අතර ඔවුන් පාකිස්තානයට අයත් බව හඳුන්වා දී තිබේ.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය වෙබ් අඩවියට පිවිසෙන විද්‍යුත් ලිපිනය - http://www.galle.dist.gov.lk/ . මේ වන විට එම වෙබ් අඩවියේ තාක්ෂණික නිලධාරීන් එම පණිවිඩය ඉවත් කර ඇත.

 ජාත්‍යන්තර සයිබර් ප්‍රහාර මාලාවක් :

පසුගිය සිකුරාදා (මැයි 12) එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් රටවල් 150ක පරිගණක පද්ධති දෙලක්‍ෂයකට අධික ප්‍රමාණයකට හානි පමුනවා ඇතිබව 'යූරෝපෝල්' පොලිසිය පවසයි.

මෙවැනි සයිබර් ප්‍රහාර නිරන්තරයෙන් විවිධාකාර ක්‍රම ඔස්සේ එල්ලවිය හැකි බවත් ශ්‍රී ලංකාව ද ඊට ඉලක්ක විය හැකි බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා ප්‍රකාශ කළේය.

ඊට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව සූදානම්දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමක දී ඔහු කියා සිටියේ පහත දැක්වෙන පූර්ව ආරක්ෂණ විධික්‍රම අනුගමනය කිරීම මගින් ඉන් ඇතිවිය හැකි හානි අවම කරගත හැකි බවය.
පියවර 5ක්

    *පරිගණකයේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නිසි කලට යාවත්කාලීන කර තබා ගැනීම.
    *ප්‍රති වෛරස මෘදුකාංගයක් (Anti-Virus Software) පාවිච්චි කිරීම සහ එය යාවත්කාලීන කිරීම.
    *සැකකටයුතු විද්‍යුත් තැපැල් පණිවිඩයක ඇති ඇමුණුම් (Attachments) විවෘත කිරීමෙන් වැළකී සිටීම.
    *තම පරිගණකය සතු දත්තයන් බාහිර දෘඩ තැටියක (External Hard Drive) save කර තැබීම. (මෙය නිතරම පරිගණකයට සම්බන්ධකර තැබීමෙන් වළකින්න. පරිගණකය වෙත පැමිණෙන වෛරසයක් වයරය හරහා බාහිර දෘඩ තැටියට ද ඇතුළුවිය හැකියි.)
    *විශ්වාසදායක සැපයුම් හරහා පමණක් තම පරිගණකයට අවශ්‍ය මෘදුකාංග බාගතකර ගැනීම.

නව විධික්‍රම ඔස්සේ නැවතත් :

මහජන සේවා අඩාලවීම වළක්වාගැනීම සඳහා රජයේ මෙන්ම පෞද්ගලික ආයතන ද මෙවැනි ආරක්‍ෂක විධික්‍රම අනුගමනය කළ යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා අවධාරණය කළේය.

පසුගිය සිකුරාදා (මැයි 12) එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය යටතේ පවතින, එංගලන්තයේ රෝහල් 48ක සහ ස්කොට්ලන්තයේ රෝහල් 13ක සේවා අඩාල විය.

එවැනි සයිබර් ප්‍රහාරයක් නව විධික්‍රම ඔස්සේ නැවතත් ඕනෑම අවස්ථාවක එල්ලවිය හැකි බවට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු අඟවයි.
Previous Post Next Post