රජය සිය දිවි හානි කර ගැනීමක

මහජනතාව බියගන්නවා බලපෑම් කර කුණු කසළ ප්‍රශ්නය විසඳීමට යැමෙන් රජය සිය දිවි හානි කර ගැනීමක්‌ සිදුකරගන්නා බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ප්‍රකාශ කළහ.

එහිදී කාදිනල්තුමා මෙසේ ද පැවසූහ.

ජාඇල ඒකලට කුණු දාන්න හැදුවා. ඒකට අපි විරෝධය පළ කළා. ඒ ප්‍රශ්නය නතර කළා. දැන් ආයෙත් මේ කුණු ප්‍රශ්න ඇතිවුණා. මුතුරාජවෙලට කුණු කසළ දැමීමට යැමෙන් සිදුවෙන්නේ ජලය අපවිත්‍ර වීමයි. පරිසරයත් විනාශ වෙනවා. රජයටත් මේ පිළිබඳව සාධාරණ ප්‍රශ්න තිබිය හැකියි.
ඒත් ඔය කුණු කසළ ප්‍රශ්නය විසඳිය හැක්‌කේ එක එක්‌කෙනාගේ පෞද්ගලික මතය අනුව නොවේ. ප්‍රදේශයේ ජනතාව රැස්‌ කර ඒ ගැන අදහස්‌ විමසලා කිසියම් එකඟතාවයකට පත්විය යුතුයි.

ජනතාව මේ රජය බලයට පත්කළේ රජය කෙරෙහි තබා තිබූ දැඩි විශ්වාසය මතයි. නීතිරීති පනවා බලපෑම් කර මේ විදිහට ක්‍රියා කිරීමට යැම සුබවාදී නැහැ. එය රජය විසින්ම සිය දිවි හානිකර ගැනීමක්‌ හා සමානයි.

ජනතාව සමඟ සාකච්ඡා කර මේ ප්‍රශ්නය විසඳිය යුතුයි. කුණු කසළ ප්‍රශ්නය වෙනුවෙන් මා කතා කරන්නේ ජාඇල හෝ ඒ අවට පළාත් කීපයක්‌ සඳහා නොවෙයි රටේ සෙසු පළාත් වෙනුවෙන්.''

සුබවාදී ක්‍රියාවක්‌ නොවේ' - මහින්දත් කියයි :

මුතුරාජවෙල රක්‍ෂිත ප්‍රදේශයක්‌ වශයෙන් නම්කර තිබියදී එම ප්‍රදේශයට කුණු කසළ බැහැර කිරීම එතරම් සුබවාදී ක්‍රියාවක්‌ නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද පැවැසීය.

මුතුරාජවෙල ගහකොළ පරිසරය පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතුව ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා මහ ජනතාවගේ බලවත් විරෝධතා මැද රජය හිතුවක්‌කාර තීරණයක්‌ ගැනීම ගැන කනගාටුවෙන බවද කීවේය.

පසුගිය සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ අහස උසට ගිය බඩු මිල කසළ ප්‍රශ්නය මත යටපත් වූ බවද මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.


(දිවයින)
Previous Post Next Post