ක්‍රිකට් ක්‍රීඩකයෝ ලෙඩවිය හැකි බව අර්ජුන අනතුරු අඟවයි

මේ දිනවල පවතින අධික වියලි තත්ත්වය නිසා එංගලන්ත ක්‍රිකට් සංචාරයට සූදානම් වන ශ්‍රී ලංකා පිල කොළඹදී පුහුණුවීමෙන් සංචාරය අතරතුරදී ආබාධවලට ලක්විය හැකි බව ජාතික තහනම් උත්තේජන නිවාරණ ආයතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අනතුරු අඟවයි.

එංගලන්ත දේශගුණයට ඉතා සමීප නුවරඑළියේ රදැල්ල ක්‍රීඩාංගණයේදී සංචාරයට එක්වන ක්‍රීඩකයින්ට පෙර පුහුණුව ලබාදීමෙන් මෙම අනතුරුදායක තත්ත්වය වලක්වා ගත හැකි බව මහාචාර්යවරයා අවධාරණය කරයි.
කොළඹ වියලි දේශගුණයේ පුහුණුවීමෙන් අනතුරුව එංගලන්තයට ගොස් ක්‍රීඩා කිරීමේදී ඇතිවන හාත්පසින්ම වෙනස් තත්ත්වය හේතුවෙන් ක්‍රීඩකයින්ගේ පේශී ඉරීයෑමට හැකිබව ඒ මහතා කියා සිටී.

එවිට ඇතිවන මස්පිඩු ආබාධ වලක්වා ගැනීමට එංගලන්තයට සමාන දේශගුණික තත්ත්වයක් පෙර පුහුණුවීම් සදහා තොරා ගැනීම උචිත බව මහාචාර්යවරයාගේ අදහසවී තිබේ.

එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා පිල එහි ගිය වහාම පළමු තුන්දින තරගයට ක්‍රීඩා කරන චෙල්ම්ස්ෆෝඩ් හී උෂ්ණත්වය මේ දිනවල සෙල්සියස් අංශක 12ක් පමණ වන අතර දැනට පුහුණුව ලබන කොළඔ උෂ්ණත්වය සෙල්සියස් අංශක 34ක් පමණ වේ.

මේ දෙක අතර පරතරය සුලුපටු එකක් නොවන බව මහාචාර්යවරයා සදහන් කළේය.

වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස ශ්‍රී ලංකා පිල මෙවැනි තත්ත්වයන් කෙරෙහි සැලකිලිමත්වීම ශාරීරික යෝග්‍යතාවට අත්‍යාවශ්‍ය බව මහාචාර්යවරයා පැවැසීය.

“ අපට ඕනෑම දේශගුණික තත්ත්වයක ක්‍රීඩා කිරීමට සම්පත් තියෙනවා. ප්‍රශ්නය තියෙන්නේ සැලසුමක් නැති කමයි. රදැල්ල ක්‍රීඩා පිටිය හොද මට්ටමක නෑ කියා කෙනෙකු පවසන්න පුලුවන්. නමුත් පැති විකට්ටු හොද මට්ටමකට ගන්න පුලුවන්. ඇයි ඒ වගේ ක්‍රීඩා පිටියක පුහුණුවීම සදහා පමණක් හෝ ආයෝජනයක් නොකරන්නේ. මේ දින කිහිපයේ හෝ එවැනි දේශගුණික තත්ත්වයක් තෝරා ගැනීම නුවණට හුරුයි.

වසර 1983දී නවසීලන්ත කණ්ඩායම රදැල්ලේ ක්‍රිකට් තරගයකට සහභාගීවීමෙන් පසුව වේගපන්දු යැවූ රිචඩ් හැඩ්ලි කියා තිබුණා එංගලන්තයට සමාන දේශගුණයක් ඇති රදැල්ලේ වේග පන්දු යවන්නන්ට වාසිදායක තැනක් බව. මේ සම්පත් ප්‍රයෝජනයට ගැනීම සෑම අතින්ම හොදයි “ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය.

රදැල්ල ක්‍රීඩාංගණයේදී පළමු පෙළ තරග කිහිපයක් පවත්වා ඇති අතර වසර 2000දී පැවැති යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 4ක් ද පැවැත්විය. එහිදී පාකිස්තානය, නෙදර්ලන්තය, අයර්ලන්තය, ඇමෙරිකාව, කෙන්යාව වැනි රටවල් ක්‍රීඩා කළහ. එයට පෙර ඔස්ට්‍රේලියාව හා සිම්බාබ්වේ වැනි රටවල් තුන්දින තරගවලට සහභාගී වී තිබේ.

එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා පිල ටෙස්ට් තරග 3කට, එක්දින තරග 5කට හා විස්සයි 20 ක්‍රිකට් තරගයකට මුහුණදෙන අතර අයර්ලන්තය සමග එක්දින තරග 2ක් වෙනම පැවැත්වීමට සැලසුම් කොට ඇත. සංචාරය මැයි මස 4වැනිදා ආරම්භවී ජූලි 5වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.
Previous Post Next Post