ජනපතිගෙන් නිවේදනයක්

ජර්මනියේ නිල සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මාධ්‍ය වෙත නිල ප‍්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මිය සමග කළ සාකච්ඡවේදී අවධානයට ගත් කරුණු පිළිබද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම නිවේදනයෙන් විස්තර කර තිබෙනවා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (17) පස්වරුවේ එරට ෆෙඩරල් ජනාධිපති හාම් ගෝචිම් ගවුක් සහ ෆෙඩරල් විදේශ අමාත්‍ය ෆෑන්ක් වෝල්ටර් ස්ටෙන්මියර් යන මහත්වරුන්ද මුණ ගැසුණා.
දෙරට අතර ගිවිසුම් කිහිපයකටද ඊයේ (17) අත්සන් තැබුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ජනාධිපතිවරයාගේ සම්පූර්ණ නිවේදනය පහතින්.

ජර්මානු චාන්සලර්වරිය සමඟ පැවති නිල සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මාධ්‍ය වෙත නිකුත් කළ ප‍්‍රකාශය

ජර්මානු චාන්සලර් ආචාර්ය ඇන්ජෙලා මර්කල් මැතිණියනි,

මාධ්‍ය ආයතනවල සාමාජික සාමාජිකාවනි,

ජර්මානු චාන්සලර් ආචාර්ය ඇන්ජෙලා මර්කල් මැතිණිය සමඟ මම ඉතා ඵලදායී හා සාරවත් සාකච්ඡාවක් පැවැත්වීමි. ශී‍්‍ර ලංකාව හා ජර්මනිය වසර ගණනාවක් පුරා සමීප හා හිතෛෂී සබඳතා පැවැත්වූ රටවල්වන අතර ජර්මනියේ සංචාරයක් සඳහා මට කළ ආරාධනය වෙනුවෙන් මම චාන්සලර්වරියට ස්තූතිවන්ත වෙමි.

මෙහි පැමිණ අපේ ද්වි පාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ක‍්‍රම සහ විධි පිළිබඳ සාකච්ඡා කිරීමට ලැබීම පිළිබඳවද මම ඉතාමත් සතුටට පත්වීමි.

ශී‍්‍ර ලංකාව සහ ජර්මනිය අතර සබඳතා සියවස් දෙකක පමණ ඉතිහාසයක් පුරා දිවෙයි. ජර්මනියේ බුද්ධාගමට වසර 150 කට වැඩි ඉතිහාසයක් ඇත. ජර්මනියෙන් පැමිණ ශී‍්‍ර ලංකාවේ පදිංචි වූ පළමු භික්ෂුන් වහන්සේ පූජ්‍ය නයනාතිලෝක හිමියන්ය.

ථේරවාදී බුදු දහම පැතිරවීමට අගනා දායකත්වයක් සැපයූ අනෙක් යුරෝපීය භික්ෂුන් වහන්සේලා නයනාතිලෝක හිමියන්ගේ ආදර්ශය අනුගමනය කළහ.
ජර්මානු චාන්සලර්වරිය සමඟ මා කළ සාකච්ඡාවේදී ශී‍්‍ර ලංකාව වෙත ජර්මනියෙන් සැපයෙන සංවර්ධන ආධාර පිළිබඳ අවධානය යොමු කෙරිණි.

දශක පහකටත් වැඩි කාලයක් තිස්සේ ඉතා ත්‍යාගශීලිව ජර්මනියෙන් අපට සපයන ලද සංවර්ධන ආධාර වෙනුවෙන් කෘතඥතාවය පළ කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි. මෙම උපකාර ඉදිරියටද ලබාදෙන මෙන් මම ඉල්ලා සිටිමි. සහයෝගීතාවයේ නව මානයක් සඳහා චිරාගත සබඳතා තව තවත් වැඩිදියුණු කර ගැනීමේ නව අවස්ථා සෙවීමට අප රජය කැපවී සිටි.

ශී‍්‍ර ලංකාවේ තාක්ෂණික සහ වෘත්තීය පුහුණු ආයතනයක් පිහිටුවීම තුළින් කුසලතා වර්ධනයට ජර්මනිය විසින් සැපයූ දායකත්වය සහයෝගීතාවයේ විශිෂ්ට ආදර්ශයකි. ජර්මානු රජය හා එහි ජනතාවට අපි අතිශයින් කෘතඥපූර්වක වෙමු. ශී‍්‍ර ලංකාවේ ඉහළ යමින් තිබෙන ආර්ථික ඉඩ ප‍්‍රස්ථාවන්ගෙන් ප‍්‍රයෝජන ගන්නා ලෙස මම තව තවත් ජර්මානු ආයෝජකයින්ට ආරාධනා කරමි.

ඉහළ මට්ටමේ වෙළෙඳ සහ ආයෝජන කණ්ඩායමක් මා සමඟ මෙම සංචාරයට සහභාගී වී සිටිති. ශී‍්‍ර ලංකාවේ ආර්ථික අපේක්ෂාවන් සහ විභවයන් පිළිබඳ අවධානය කෙරෙන විශේෂ සමුළුවකට අපි සහභාගී වන්නෙමු. අපේ ව්‍යාපාරික නියෝජිතයින්, ජර්මානු ආයෝජකයින් සමඟ අන්‍යෝන්‍ය ලෙස ගනුදෙනු කොට හවුල් ව්‍යාපාර සඳහා පවත්නා අවස්ථා හඳුනා ගනු ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්වලට අමතරව විද්‍යා හා තාක්ෂණ, බලශක්ති අංශයේ තිරසාර සංවර්ධනය මෙන්ම උසස් අධ්‍යාපනය යන ක්ෂේත‍්‍ර ඇතුළත් ද්වි පාර්ශවික සහයෝගීතාවයේ පුළුල් ප‍්‍රදේශයක් අපේ සහයෝගීතාව මඟින් ආවරණය කෙරෙනු ඇත.

මගේ සංචාරය තුළ මම ජර්මානු ජනාධිපතිතුමා හමු වෙමි. ඔහු සමඟ මෙන්ම ජර්මානු රජයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිළධාරින් සමඟ මම පවත්වන සාකච්ඡා ද්වි පාර්ශවික සහ බහු පාර්ශ්වික සබඳතාවයන්හි හවුල් අවස්ථා හඳුනා ගැනීමට මෙන්ම අපේ විශේෂ ප‍්‍රමුඛතා හා විභවයන් හඳුනාගෙන ඒවා ප‍්‍රවර්ධනය කිරීමට උපකාරීවනු ඇති බව මගේ ප‍්‍රාර්ථනාවයි.
Previous Post Next Post