Email

පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුම හසුරුවන්නේ කවුද ? - සජිත් අසයි... කථානායකටත් මහලේකම්ටත් උත්තර නෑ !

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමෙන් ට්විටර් පණිවිඩ නිකුත් කරන්නේ කවුරුන් විසින්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අතර ඊට නිශ්චිත පිළිතුරක් ලබාදීමට කථානායක මහින්ද යාපා මහතාට හෝ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට නොහැකි විය. 

ගූග්ල් ලූන් ව්‍යාපෘතිය පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමෙහි අසත්‍ය ප්‍රකාශයක් පළවී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පෙන්වා දුන් අතර කථානායකවරයා එහිදී ප්‍රකාශ කළේ ඒ පිළිබඳව ඉදිරියේදී සොයාබලන බවකි. 

මීට මැදිහත් වෙමින් සජිත් ප්‍රේමදාස මහතා එම ට්විටර් ගිණුම හසුරුවන්නේ කවුරුන්දැයි විමසා සිටි අතර ඊට ද කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා පිළිතුරු දුන්නේ ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකරන බව කියමිනි. 

එවිට සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ පාර්ලිමේන්තු නිල ට්විටර් ගිණුම බාරව සිටින්නේ කවුරුන්ද යන නිශ්චිත ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා විමර්ශන කිරීමට දෙයක් නොමැති බවත් එය කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතු බැවින් එම පුද්ගලයා කවුරුන්දැයි වහාම සභාවට ප්‍රකාශ කළයුතු බවත්ය. 

එවිට කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසුවේ එය පාර්ලිමේන්තු මාධ්‍ය අංශයේ ප්‍රධානියා යටතේ පාලනය වන බවත් ට්විටර් පණිවිඩ නිකුත් කරන්නේ කවුරුන්දැයි සොයා බැලිය යුතු බවත් ය. 

එවිට විපක්ෂ නායකවරයා අවධාරණය කළේ මෙම ඉතාම බරපතළ ප්‍රශ්නයක් බවත් කථානායකවරයාගේ සහ පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව මෙසේ ට්විටර් පණිවිඩ නිකුත් කෙරෙන්නේ කෙසේදැයි විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ද සහභාගීත්වය ඇතිව විමර්ශනයක් සිදුකළ යුතු බවයි. 
gossip lanka