Email

විමල් හඳුන්කූරු බටේ රටින් ගේන්න කැබිනට් යෝජනාවක් දාලා !

හඳුන්කූරු නිෂ්පාදනයට අවශ්‍ය විශේෂිත උණබට කූරු ආනයනයට අවසර ඉල්ලා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් කැබිනට් සංදේශයක් යොමුකර ඇතැයි වාර්තා වේ.

මෙමගින් හඳුන්කූරු නිෂ්පාදනය සඳහා අවශ්‍ය විශේෂිත උණ බට කූරු මෙට්‍රික් ටොන් 100ක් මාසිකව ගෙන්වීමට සැලැසුම් කර ඇතැයි පැවසේ.

මේවන විට එම බට රට තුළ අවශ්‍ය ප්‍රමාණය සපයා ගැනීමට නොහැකි වී ඇතැයි ද ඔහු පෙන්වා දී තිබේ.

බදුත් ඉවත්කරන්න ඉල්ලලා

එම කැබිනට් සංදේශය මගින් උණබට කූරු කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 270 - 300 දක්වා වූ මුදලක් ගෙවන බවත්, රුපියල් 300ක් දක්වා වූ බදු මුදලක්ද ගෙවීමට සිදුව ඇති බව අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.

මේ තත්ත්වය නිසා බදු මුදල ඉවත් කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය යෝජනා කර ඇත.

තවද ‘‘ගල් බම්බු’ නම් උණ ශාකය වගා කළ හැකි ප්‍රදේශ හඳුනාගෙන වගා කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා මහවැලි අමාත්‍යාංශයේ සහයෝගය ලබාගැනීමටද අමාත්‍යාංශය තීරණය කර ඇති බව පැවසේ.

උණ බට ප්‍රවාහනයේදී මතුව ඇති බාධා ඉවත් කිරීමටද අමාත්‍යාංශය යෝජනා ඉදිරිපත් කර තිබේ.

තායි සුමේධා තර කිරීම

මේ යොජනාව ඉදිරිපත් කර ඇත්තේ මෙරට ප්‍රමුඛ පෙලේ හඳුන්කූරු සමාගමක්වන "තායි සුමේධා" ආයතනයේ අවශ්‍යතාවයක් මත බව එම කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අදාළ යොජනාව ඉදිරිපත් කිරීමට පෙර පසුගිය සැප්තැම්බර් 16 වැනිදා විදෙස් වෙළඳපොළ තව දුරටත් පුළුල් කරමින් කැනඩාවට ද ඔවුන් හඳුන්කූරු අපනයනය කරන බව කියමින් පිටකෝට්ටේ රැෆාල් උත්සව ශාලාවේ දී උත්සවයක් පැවැත්වීය.

එහිදී අපනයනයට සූදානම් කර තිබූ හඳුන්කූරු තොගය සංකේතාත්මකව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරු වෙත ‘තායි සුමේධා’ සමාගමේ සභාපති සුමේධ ඇල්පිටිය මහතා විසින් පිළිගන්වනු ලැබීය.

හඳුන්කූරු සුවඳේ මාරයා

මෑතක් වනතුරුම මෙරට ගෘහාශ්‍රිත කර්මාන්තයක්ව පැවැති හඳුන්කූරු කර්මාන්තය (Handrolled bathies) දැන් විශාල කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන්නකි.

ලංකාවේ වැඩිම හඳුන්කූරු ප්‍රමාණයක් භාවිත කරනු ලබන්නේ මස් කඩවල හා මාළු කඩවල බවද වාර්තා වේ.

මුස්ලිම් ජාතිකයන්ගේ වෙළෙඳසල්වල හඳුන්කූරු භාවිතය ඉතා අල්ප බවද පැවසේ.

මේ අතර, හරිත ලංකා ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ කතිකාචාර්ය ඉන්දික විජේබණ්ඩාර මහතා මෑතකදී හෙළිකර තිබුණේ ලෝකයේ වායු දූෂණය වන රටවල් අතර ප්‍රමුඛ ස්ථානයක සිටිනා ශ්‍රී ලංකාව සුගන්ධකාරක හේතුවෙන් පාරිසරික දූෂණයට ලක්වෙමින් පවතින බවයි.

මඳුරු දඟර නිෂ්පාදනය කොට ඉතුරුවෙන කුඩු යොදාගනිමින්ද හඳුන්කූරු නිෂ්පාදනය කරනු ලබන බවට රාවයක් පසුගිය කාලයේදී පැවැතිනි.

මේ අතර යුරෝපා සංගමයට අදාළ රටවල් 2014 වර්ෂයේදි සුගන්ධකාරක ද්‍රව්‍ය සඳහා නීතියක් පැනවූ අතර සුගන්ධකාරක රසායනික ද්‍රව්‍ය 1,326ක් ඒ අනුව මිනිස් සිරුරට අහිතකර වීම හේතුවෙන් භාවිතය තහනම් කෙරුණි.

හඳුන්කුරු, කට්ටකුමන්ජල් ආදියෙන් නිකුත් කෙරෙන සුවඳ දුම් සිගරට් දුමට වඩා මිනිස් සිරුරේ සෛලවලට විෂ සහිත වියහැකි බව අලුත්ම පර්යේෂණයකින් හෙළිව ඇතැයි ද පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා පලවිය. 
gossip lanka