අගමැති ධුරය බහුතරය පෙන්වන මන්ත්‍රීවරයකුට !

පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ගෞරවය හා විශ්වාස දිනාගත හැකි මන්ත්‍රීවරයෙක් අග්‍රාමාත්‍ය ධූරයට පත්කර නව රජයක් පිහිටුවන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයත්ත මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊයේ(14) පස්වරුවේ එම ඉල්ලීම ලිඛිතව ජනාධිපතිවරයා වෙත යොමු
කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය කමිටු ලේකම් තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඇති බව පෙන්වීම සඳහා ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමක් මේවනවිට ඒකාබද්ධ විපක්ෂයේ හා සුළු පක්ෂවල සහය ලබාගැනීමට බලවත් උත්සහයක් දරමින් සිටියි.

මේ සඳහා ජනාධිපතිවරයා එම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති කාලය අද (15) දහවල් 12.00ට අවසන්වේ.

පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බව එජාපය මේවනවිටත් ජනාධිපතිවරයාට නිල වශයෙන් දැනුම් දී ඇත.

ජනපතිගේ විශේෂ ප්‍රකාශයක්:

මේ අතර ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන සිකුරාදා විශේෂ ප්‍රකාශයක් සිදු කිරිමට නියමිත බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සහ ජනාධිපතිවරයා අතර ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳව අදත් අරලියගහ මන්දිරයේදි සාකච්ඡාවක නිරතවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මෙම සාකච්ඡා ඊයේ පස්වරුවේ පවත්වනු ලැබුවේ කැබිනට් රැස්වීමෙන් අනතුරුවය.

පළාත් පාලන මැතිවරණයෙන් පසු පැවැත්වූ පළමු කැබිනට් රැස්වීම මෙය වූ අතර, මෙහිදී ආණ්ඩුවේ විශේෂ වෙනස්කම් රැසක් සිදුවිය හැකි බවට වාර්තා පළ විය.

කෙසේ වෙතත්, එහිදී රටේ ඉදිරි ගමන සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරුන් වන දයා ගමගේ, විජිත් විජයමුණි සොයිසා, සජිත් ප්‍රේමදාස සහ නවීන් දිසානායක කියා සිටියහ.




Previous Post Next Post