වැලිකතරේ ඉසුරු සොයා ගිය දිනූෂිට අමානුෂික ලෙස පහරදී අතවර කර මරා දමලා

සෞදි ආරාබියේ වසර දෙකක් සේවය කළ නිවසට නැවත ගිය තම දියණිය, මාස 6 කට පසුව ලංකාවට පැමිණියේ මිනී පෙට්ටිකින් බව පස්සර ප්‍රදේශයේ පදිංචි ෂෙල්ටන් අල්විස් නැමැත්තා පෙරේදා (11) කදුළු වගුරමින් මීගමුව රෝහලේදී පැවසුවා.

ඇය සේවය කළ නිවසේ හිමිකරු වූ ආරාබි ජාතික පොලිස් නිළධාරියා
නිවසෙන් පැන ගොස් ඇති හෙයින් තම දියණියගේ  මරණය පිළිබඳව සැකයැයි ඔහු ප්‍රකාශ කරනවා.

දියණියගේ අත්  ඇඟිලි තුවාල වන ලෙස කපා අත පුච්චා තිබු අයුරු සටහන් වු ඡායාරූප ජංගම දුරකථයක් හරහා ලංකාවට එවා තිබූ බවත් ඒ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිනිළි කර පරීක්ෂණ සිදුකරන අතරතුරදී තම දියණියගේ දේහය පෙරේදා (11) ගුවනින් ලංකාවට ඒවා තිබූ බවට ඔහු කටුනායක ගුවන්තොටුපළ පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා.

මෙලෙස මියගියේ අංක 25, අත්කම් නිවාස අරලියගාව, පස්සර ලිපිනයේ පදිංචිව සිටි 36 හැවිරිදි දෙදරු මවක වූ දිනූෂි ප්‍රියංගා මහේෂිද අල්විස් යන අයයි.

තම සැමියාගෙන් ලද අකටයුතු කම්  ඉවසාගත නොහැකිව සැමියාගෙන් වෙන්ව තම පියාගේ ආරක්ෂාව මැද දරුවන් සමග ජීවත්ව සිට මීට  වසර දෙකකට පෙර ඇය සෞදි ආරාබියේ දමාම් නුවර කතීප් ප්‍රදේශයේ නිවසක මෙහෙකාර සේවයට ගොස් තිබෙනවා.

වසර දෙකක් ඉතා හොදින් එම නිවසේ සේවය කර මසක නිවාඩුවකට ලංකාවට පැමිණ තම දියණිය නැවත එම නිවසටම සේවයට ගියත් දරුවන්ගේ වියදම් සදහා මාස දෙකක වැටුප් එවීමෙන් පසු දුරකථන ඇමතුමක්වත් නොදුන් බවයි පියා ප්‍රකාශ කළේ.

පසුව ඔහු දියණිය පිළිබඳව සොයා බැලීමේදී ඇය මැදපෙර දිග රැකියාවට යොමු කළ ඒජන්සිකරු විසින් ඉකුත් 8 වන දින ඇය මියගොස් ඇති බව දන්වා තිබෙනවා.

පෙරේදා (11) අළුයම 5.50ට කටුනායක ගුවන් තොටුපළට පැමිණි යූ.එල් 266 දරණ ගුවන් යානයේ දිනූෂි ප්‍රියංගාගේ සිරුර බහා තිබූ පෙට්ටිය ඥාතීන් විසින් භාරගෙන මරණ පරීක්ෂනය සඳහා මීගමුව මූලික රෝහලට යොමු කරනු ලැබුවා.

දිනූෂි සේවය කළ නිවසේ හිමිකරු ඇයට අවස්ථා කිහිපයකදීම අමානුෂික ලෙස පහරදී අතවර කර දින කීපයක්  ආහාර  ලබා  නොදී කුසගින්නේ තබමින්  කාමරයක දමා  සිරකර තිබූ බව දියණිය පැවසූ බවත් ලංකාවට ගෙන්වා ගැනීමට තම මුදලින් ගුවන්  ටිකට් පත් යැව්වත්  ඇය ලංකාවට පැමිණියේ මිනී පෙටිටියක බවත් නෙතින් ගැලූ කදුළු පිසදමමින්  මියගිය නැත්තියගේ පියා පැවසුවා.

Previous Post Next Post