බැඳුම්කරයේ සාක්ෂි දෙසැම්බරයේ උසාවියට !

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ අවසන් වාර්තාවේ කරුණු හා තීන්දු පදනම් කරගනිමින්, නීතිපතිවරයා විසින් එළඹෙන දෙසැම්බර් මාසයේදී  අධිකරණය හමුවේ  නඩු පැවරීමට අදාළ කටයුතු සුදානම් කරමින් සිටින බව වාර්තාවේ.

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු මාලාව සම්බන්ධයෙන් කොමිසමට අවශ්‍යව
තිබූ සියලු තොරතුරු මේ වන විටත් අනාවරණය කරගෙන හමාර බවත් එබැවින් තවත් සාක්ෂි දෙකක් පමණක් තහවුරු කර ගැනීමෙන් පසු කොමිසමේ සාක්ෂි විභාගය අවසන් කරන බවත් මහබැංකු බැඳුම්කර කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි මහතා පසුගිය11දා ප්‍රකාශ කළේය.

ඔහු එලෙස ප්‍රකාශ කර සිටියේ තවත් 20 දෙනකු පමණ සාක්ෂි ලබාගැනීම සඳහා කොමිසම හමුවට කැඳවන ලෙසට ඉල්ලා සිටිමින් ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඉල්ලා සිටි අවස්ථාවේදීය.

බැඳුම්කර කොමිසමට තවත් මාස 3ක් ?

කෙසේවුවද මෙම කොමිසමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරන්නැයි සිවිල් සංවිධාන කිහිපයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කිරීමේ සූදානමක් ඇතැයි වාර්තාවේ.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමේදී හා එයට අදාළව සාක්‍ෂි විමසීමේදී අමතර කරුණු හෙළිවීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීමට සිදුවීමත්, කොමිසමේ අවසන් වාර්තාව සකස් කිරීමට කාලයක් අවශ්‍ය වීමත් හේතුවෙන් කොමිසමේ කාලය දීර්ඝ කරන්නැයි ඉල්ලීමක් කිරීමට මෙලෙස බලාපොරොත්තු වන බව වාර්තා වේ.

2015 පෙබරවාරි මස පළමුවැනිදාත්, 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද්දේ පසුගිය පෙබරවාරි මාසයේදීය.


ලබන 27 වැනිදායින් අවසන් :

ඉන් අනතුරුව අවස්ථා දෙකකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මාස තුන බැගින් කොමිසමේ කාලය දීර්ඝ කරන ලද අතර, දෙවැනි වරට දීර්ඝ කරන ලද කොමිසමේ කාලය ලබන 27 වැනිදායින් අවසන් වීමට නියමිතය.

මෙම කොමිසමේ කටයුතු මේ මස 27 වැනිදාට පෙර අවසන් කිරීමට කොමිසම සැලසුම් කර තිබුණද, කොමිසමේ සාක්‍ෂි විමසන අතරතුර මෙම සිද්ධීන්වලට අදාළ අමතර කරුණු හෙළිවීම හේතුවෙන් එම සිද්ධීන් සම්බන්ධයෙන්ද විමර්ශනය කිරීමට සිදුවීමෙන් මෙම සිද්ධියේ විමර්ශන කටයුතු පෙර සැලසුම් කළ ආකාරයට අනුව  අවසන් කර ගැනීමට නොහැකි  වූ බවද වාර්තා වේ.

ඒ අනුව මෙහි විමර්ශන හා සාක්‍ෂි අවසන් කර වාර්තාව සකස් කර ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා තවත් මාස තුනකින් කොමිසමේ කටයුතු දීර්ඝ කරන්නැයි ඉල්ලීමක් කිරීමේ සූදානමක් ඇතැයි වාර්තාවේ.





Previous Post Next Post