බැඳුම්කර කොමිසමේ කටයුතු නිමයි ! අවසන් වාර්තාව සැකසේ !

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු තව දින කිහිපයකින් අවසන් කිරීමට නියමිත බව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

එහි කාලය දීර්ග කිරීමේ අදහසක් ඇතැයි මාධ්‍යවල පලවී ඇතත් අර්ජුන්
ඇලෝසියස් මහතාට සමීප තවත් කිහිප දෙනෙකුගෙන් පමණක් සාක්ෂි ලබාගැනීමෙන් පසු කොමිසමේ වැඩකටයුතු අවසන් වන බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

රෝහල් ගතව සිට පිටව ගොස් සිටින අර්ජුන් ඇලෝසියස් මහතාගේ පුද්ගලික සහායක ස්ටීව් සැමුවෙල් මහතාට අද (17) බැඳුම්කර වංචා පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු මාලාව සම්බන්ධයෙන් කොමිසමට අවශ්‍යව තිබූ සියලු තොරතුරු මේ වන විටත් අනාවරණය කරගෙන හමාර බවත් එබැවින් තවත් සාක්ෂි දෙක තුනක් පමණක් තහවුරු කර ගැනීමෙන් පසු කොමිසමේ සාක්ෂි විභාගය අවසන් කරන බවත් මහබැංකු බැඳුම්කර කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි මහතා පසුගිය11දා ප්‍රකාශ කළේය.

ඔහු එලෙස ප්‍රකාශ කර සිටියේ තවත් 20 දෙනකු පමණ සාක්ෂි ලබාගැනීම සඳහා කොමිසම හමුවට කැඳවන ලෙසට ඉල්ලා සිටිමින් ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඉල්ලා සිටි අවස්ථාවේදීය.

මෙම කොමිසමෙහි කාලය ඔක්තෝබර් 27 වනදායින් අවසන් වීමට නියමිතය.

අවසන් වාර්තාව මත නඩුවක් :

2015 පෙබරවාරි 01ත් 2016 මාර්තු 31ත් අතර කාලය තුළ නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසම පත් කරන ලද්දේ 2017 පෙබරවාරි මාසයේදීය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් මාස 3 බැගින් දෙවතාවක් ම මෙම කොමිසමෙහි කාලය දීර්ඝ කරන ලදී.

මේවනවිට මෙම කොමිසමට අදාලව ජනාධිපතිවරයාට බාරදීමට නියමිත අවසන් වාර්තාව සකස් කිරීම ආරම්භකර ඇති අතර එම වාර්තාවේ කරුණු හා තීන්දු පදනම් කරගනිමින්, නීතිපතිවරයා විසින් එළඹෙන දෙසැම්බර් මාසයේදී අධිකරණය හමුවේ නඩු පැවරීමට අදාළ කටයුතු සුදානම් කරමින් සිටියි.




Previous Post Next Post