ඩීසල් වංචා කරුවන් අතටම හසුවේ!

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ තෙල් ප්‍රවාහන බලපත් හිමි පෞද්ගලික තෙල් බවුසර් මගින් කාලයක් තිස්සේ සිදුකළ ඩීසල් වංචාවක් හෙළි කර ගැනීමට ඛණිජතෙල් නීතිගත ගබඩා පර්යන්තයේ විමර්ශන නිලධාරීන් ඊයේ  (23) සමත්විය.

පැණිදෙනියේ පිහිටි පේරාදෙණිය තොග තෙල් ගබඩාවේ සිට රැගෙන ගිය ඩීසල් තොග පල්ලකැලේ පිහිටි බලශක්ති උත්පාදන පුද්ගලික සමාගමකට ලබාදීමේදී තෙල් බවුසර් රියදුරන් හා රිය සහායකවරුන් මෙම තෙල් වංචාව සිදුකරන බව හෙළි වී තිබේ.
බවුසරයක ඩීසල් ලීටර් 33000ක් ප්‍රවාහනය කරන අතර එම ඉන්ධන පොම්ප කරනුයේ ඩීසල් ලීටර් ලක්ෂ පහක් ගබඩා කළ හැකි ටැංකියකටය. එවැනි විශාල තොග තෙල් ප්‍රමාණයක් ගබඩා කිරීමේදී තෙල් වංචා කිරීම් නිවරැදිව ගණනය කළ නොහැකි බව විමර්ශ නිලධාරින් පැවසූහ.

 සියලුම ඉන්ධන අදාල සමාගම වෙත ලබා දිය යුතු වුවත් රියදුරන් හා රිය සහායකවරුන් යම් තෙල් ප්‍රමාණයක් බවුසරයේ ඇති ටැංකිවල සගවා ගන්නා බව මෙම වැටලීමේදී අනාවරණය විය. බවුසරයේ මැද ටංකි දෙකක සම්පූර්ණයෙන් ම තෙල් සගවා තැබිය හැකි අතර තෙල් ප්‍රවාහනය කරන නළ වලින් ද ලීටර් දහසක පමණ තෙල් ප්‍රමාණයක් සගවා තබා ගත හැකි යැයි මෙහිදී හෙළිවිය.

ඊයේ රාත්‍රියේ සිට පල්ලකැලේ ප්‍රදේශය රැක සිටි නිලධාරීන් චංචා කළ ඉන්ධන සහිත   එම තෙල්  බවුසර්, රියදුරන් හා රිය සහායකයන් සිය භාරයට ගෙන තිබේ. කොතරම් තෙල් ප්‍රමාණයක් වංචා කළේද යන්න පරීක්ෂා කිරීම සදහා අදාල තෙල් ප්‍රවාහන රථ තුනක් පේරාදෙණිය තොග ගබඩාව වෙත රැගෙන පැමිණ ඇත.



කාලයක් තිස්සේ මෙම වංචාව සිදුකරන බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බවත් ඉදිරියේදී අදාල තෙල් ප්‍රවාහනය කරන පුද්ගයන් සදහා නිතිමය පියවර ගන්නා බව එහි නිලධාරියෙකු සදහන් කළේය.

නදීක දයා බණ්ඩාර - මහනුවර
Previous Post Next Post