Email

සිය බිරිඳව නොඑන ගමන් යැවූ නරුමයා, තවත් තරුණියන් තුන්දෙනෙකුත් විවාහ කරගෙන - පොලිසියේදී එළියට ආ, අදහාගන්න බැරි කතාව මෙන්න

බණ්ඩාරවෙල, ලියන්ගහවෙලදී පිහියකින් ඇන බිරිය ඝාතනය කිරීමේ චෝදනාවට ලක්ව මරණීය දණ්ඩනය නියම වී අධිකරණය මඟහරිමින් සැඟ වී සිටි සැමියා වසර දහ නවයකට පසුව පෙරේදා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව බණ්ඩාරවෙල මූලස්ථානය පොලිසිය කියයි.

බණ්ඩාරවෙල, ලියන්ගහවෙල පදිංචිව සිටි 27 හැවිරිදි කාන්තාවක පිහියකින් ඇන 2002 වසරේදී ඝාතනය කර සැඟවී සිටි බව කියන පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කටාන ප්‍රදේශයේ කුලී නිවෙසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුට විරුද්ධව බදුල්ල මහාධිකරණයේ අධි චෝදනා පත්‍ර ගොනු කර බිරිය ඝාතනය කිරීමේ නඩුව විභාග වෙමින් තිබියදී අධිකරණය මඟහැර සැඟවී සිට ඇති බැවින් සැකකරු නොමැතිව මෙම නඩුව මහාධිකරණයේ විභාග කර 2012 වර්ෂයේ 03/29 දින මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ වරදට වරදකරු කර මරණීය දණ්ඩනය නියම කර විවෘත වරෙන්තු නිකුත් කර තිබූ බව පොලිසිය කියයි.

මොහු නාමය වෙනස් කර ව්‍යාජ හැදුනුම්පතක් සහ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක්ද සකස් කරගෙන ඇති බවටත් පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

තවද මොහු කටාර් හා සවුදි අරාබි රටවල්වලට ගොස් සිටි බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

එසේම මෙම සැකකරු විසින් නීත්‍යනුකූල නොවන අයුරින් ප්‍රදේශ කිහිපයක කාන්තාවන් තිදෙනකු විවාහ කර ගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

එසේම මෙම සැකකරු ගංජා ළඟ තබාගැනීමේ චෝදනාවකට වරදකරු වී කෑගල්ල බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටියදී පලාගොස් ඇති අයකු බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකරු යුද හමුදාවේ සේවයේ යෙදී සිටින අතරතුර පලා ගිය අයකු බවද ඔහු දැන් හතළිස් නව වැනි වියෙහි පසුවන බවද පොලිසිය කියයි.

සැකකරු නව ව්‍යාජ හැදුනුම්පත සකස් කිරීමේදී වයස අවුරුදු පහකින් සිය වයස අඩු වන අයුරින් සකස් කරගෙන තිබූ බවද පොලිසිය සඳහන් කරයි. සැකකරු බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්දන ජයතිලක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිශාන්ත ගුණතිලක මහතාගේ මූලිකත්වයෙන් යුත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකළේය.

හපුතලේ - පී. ජයන්ත
මව්බිම පුවත්පතෙන් උපුටා ගන්නා ලදී..
gossip lanka