Email

ජනපති-අගමැති තම දීර්ඝ දේශපාලන ජීවිතයේ අන්තිම මාස 15 සීමාවේ.. ජනාධිපතිවරණය තෙක් මැතිවරණ කිසිවක් නෑ..

පිවිතුරු හෙල උරුමය පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

පළාත් සභා මැතිවරණය ජනවාරි මාසයේ පවත්වන බවට ආණ්ඩුව කරන ප්‍රචාරය බොරු. පුංචි ඡන්දය වගේ නොවේ, පළාත් සභා මැතිවරණය නම්
නීති අවුලක හිර කරලා තිබෙන්නේ. දැන් පළාත් සභා මැතිවරණ පනත අඩක් ගිලපු කඩුවක් වගේ. අඩක් ගිලපු කඩුව තව දුරටත් ගිල්ලොත් උගුර කැපෙනවා. ඒ වගේම කඩුව එළියට අදින්න හැදුවොත් ඒත් උගුර කැපෙනවා. පළාත් සභා මැතිවරණ පනතත් ඒ වගේ. කොට්ඨාශ ක්‍රමය ඉදිරියට ගෙනි යන්න නම් සීමා නිර්ණය කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් අනුමත කරන්න ඕනෑ. ඒ වගේම කොට්ඨාශ ක්‍රමය අහෝසි කර පරණ ක්‍රමයට යෑමට නම් කොට්ඨාශ ක්‍රමය හදුන්වා දුන් නීතිය පාර්ලිමේන්තුවේ තුනෙනේ දෙකේ බහුතරයෙන් අහෝසි කළ යුතුයි. මොකද කොට්ඨාශ ක්‍රමය බිහි කරපු පනත තුනෙන් දෙකෙන් අනුමත කළ නිසා. ඒ නිසා දැන් පළාත් සභා මැතිවරණය කොට්ඨාශ ක්‍රමය දිගේ ඉදිරියට ගෙනි යන්නත් බෑ. කොට්ඨාශ ක්‍රමයෙන් පස්සට ගන්නත් බෑ.

මේ වන විට පාර්ලිමේන්තුව තුල කොට්ඨාශ ක්‍රමයට පක්ෂ හා විපක්ෂ ලෙස තියුණු බෙදීමක් තියෙනවා. එය මැති ඇමතිවරුන් දක්වන අදහස් වලින් පේනවා. කොට්ඨාශ ක්‍රමය අහෝසිකර හෝ පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතුය කියන මතයේ අපි ඉන්නවා. පැරණි ක්‍රමයට පවත්වන්න කියන අපිට පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණත් තුනෙන් දෙක නෑ. අනිත් පැත්තටත් සාමාන්‍ය බහුතරය නෑ. කේවල් කරලා තෑගි බෝග දීලා මැති ඇමතිකම් දීලා සාමාන්‍ය බහුතරය හදා ගන්න පුළුවන් වේවි. ඒත් අපේ සහය නැතුව තුනෙන් දෙකක් හදා ගන්න කීයටවත් බෑ. මේකට ආණ්ඩුවේ නායකයෝත් බොහොම කැමතියි. ඒ අය මේ අවුල සිතාමතාම නිර්මාණය කලේ පළාත් සභා මැතිවරණය නොපවත්වා ඉන්නයි.

ඇත්තෙන්ම ජනපති සහ අගමැතිටත් ඕනෑ මැතිවරණය නොතියා ඉන්න. මැතිවරණයක් තිබ්බොත් දෙන්නාට නැවත රණ්ඩු වෙන්න වෙනවා. අන්ත පරාජයෙන් පස්සේ විශ්වාස භංග වලට මුහුණ දෙන්න වෙනවා. නායකත්වයට එරෙහි කැරලි වලට මුහුණ දෙන්න වෙනවා. ඇමතිවරු ගිහින් විපක්ෂයේ වාඩි වෙනවා. මේ දෙන්නාම අද ගත කරන්නේ තම දීර්ඝ කාලීන දේශපාලන ජීවිතයේ අන්තිම මාස 15යි. ඒ නිසා ඔවුන්ගේ දේශපාලන ජීවිතයේ සැඳෑ සමය කලබලයකින් තොරව සාමකාමිව ගත කරන්නයි දෙන්නාටම ඕනෑ. මැතිවරණ පැවැත්වීම ඊට බාධාවක්. මොකද ඔවුන්ගේ සාමකාමී වාතාවරණය බිදී ගිහිල්ලා ආණ්ඩුවේ අර්බුද මතුවන කාලයක් බවට පත්වෙනවා. ඒ නිසා ආණ්ඩුව අතිශයින්ම කැමතියි තුනෙන් දෙකේ අර්බුදයේ රට හිරකර තබලා පළාත් සභා මැතිවරණය ජනපතිවරණය දක්වාම නොපවත්වා ඉන්න.

– අරවින්ද අතුකෝරල

gossip lanka