Email

වර්ජනය කළාට දඩ පත්‍රිකාව හකුලා ගන්නේ නෑ

මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් හඳුන්වා දුන් නව දඩ පත්‍රිකාව කිසිදු හේතුවක් නිසා හකුලා නොගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය‍ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹදී අද(16) පෙරවරුවේ
පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

දඩ පත්‍රිකාව ඉවත් කර ගන්නා ලෙස ඉල්ලීම් කරන්නේ බස් හිමියන් නොවන බවත්, බස්වල සේවය කරන පුද්ගලයින්ගේ අවශ්‍යතාවය මත කිසි විටෙකත් මෙවැනි තීරණ නොගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රවාහනය තුළ සැබවින්ම විනයක් පැවතිය යුතු බව ද සඳහන් කළ අමාත්‍යවරයා ඉදිරියේදී අවශ්‍ය නම් වෙනත් පනතක් මඟින් එය සංශෝධනය කළ ගත හැකි වුවත් වත්මන් රජය එවැනි කිසිදු තීරණයකට එළඹෙන්නේ නොමැති බවත් කියා සිටියේය.

කෙසේ වෙතත් අද බස් වර්ජනය සමස්තයක් ලෙස අසාර්ථක වුවත් ඇතැම් ප්‍රදේශවල ජනතාව මෙයින් පීඩාවට පත්ව ඇති බව වාර්තාවන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

කෙසේ වෙතත් අද රාත්‍රියේ සිට හමුදා බස් රථ ධාවනයට එක් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


gossip lanka