සිගිත්තිය මියයෑමෙන් පසු ගම්මු ගලහ රෝහල වටලති - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Wednesday, August 29, 2018

සිගිත්තිය මියයෑමෙන් පසු ගම්මු ගලහ රෝහල වටලති

මහනුවර, ගලහ ප‍්‍රාදේශීය රෝහලට ඊයේ (28 වැනිදා) ඇතුළත් කළ දැරියක ප‍්‍රතිකාර ප‍්‍රමාද වීම නිසා මියගිය බව පවසමින් දෙදහසකට අධික පිරිසක් එම රෝහල වටලා කෑ කෝ ගසමින් ගල් මුල් ප‍්‍රහාර එල්ල කිරීම
හේතුවෙන් පැය කිහිපයක්ම දැඩි කලබලකාරී තත්ත්වයක් උද්ගත විය.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස්‌ කැරලි මර්දන ඒකකය මෙන්ම පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ද කැඳවා තිබිණි.

මෙම තත්ත්වය යටතේ ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනා වහාම දිස්‌ත්‍රික්‌ කාර්යාලයට මාරු කෙරුණ අතර සිද්ධිය සම්බන්ධයෙන් වෙනම පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය තීරණය කර ඇත.

වයස අවුරුදු දෙකහමාරක්‌ වූ එම දැරිය රෝහලට ඇතුළත් කර ඇත්තේ උණ වලිප්පුවට ප්‍රතිකාර කිරීම සඳහාය.

සෙම් රෝගී තත්ත්වයෙන් පෙළී ඇති බව කියන සංකර් සජී නමැති මෙම දැරිය උණ උත්සන්න වීමෙන් උණ වලිප්පුව ඇතිවීම නිසා ඊයේ අලුයම රෝහලට ඇතුළත් කළ ද එහි වෛද්‍යවරු කිසිවෙක්‌ තම දියණිය පරීක්‍ෂා කර ප්‍රතිකාර ලබා නොදුන් බව දෙමවුපියෝ පවසති. ගලහ රෝහල වෙත ගෙන ගිය තම දියණියගේ තත්ත්වය බරපතළ බැවින් පේරාදෙණිය රෝහල වෙත ගෙනයන්නැයි රෝහල් කාර්ය මණ්‌ඩලය තමන්ට දැනුම් දුන් බවද ඔව්හු කියා සිටිති.

ළදැරිය මියගොස්‌ ඇත්තේ ගලහ රෝහලේ සිට පේරාදෙණිය රෝහල වෙත ත්‍රිරෝද රථයකින් ගෙනයමින් සිටියදීය. තම දියණිය මිය යැම සම්බන්ධ පූර්ණ වගකීම ගලහ රෝහලේ වෛද්‍යවරුන් දැරිය යුතු බවද දෙමාපියෝ කියා සිටිති. තම දියණිය රෝහලට ඇතුළත් කරන විටත් ගලහ රෝහල වෙත පැමිණි හදිසි අනතුරකට මුහුණ දුන් රෝගීන් දෙදෙනකු බරපතළ තුවාල මත එම රෝහලේ ගිලන් රථයෙන් පේරාදෙණිය රෝහලට යෑවූ බවද ඒ වන විටත් තම දියණියගේ උණ රෝගය උත්සන්නව තිබූ නමුත් ඇය එම අවස්‌ථාවේදී පේරාදෙණිය රෝහලට මාරු කිරීමට වෛද්‍යවරු පියවර නොගත් බවට ද දෙමවුපියෝ චෝදනා කරති. මෙම සිදුවීමෙන් කුපිත වූ දෙල්තොටවත්ත ප්‍රදේශයේ ගම්වැසියෝ දෙදහසක පමණ පිරිසක්‌ රෝහල වටලා එල්ල කළ ගල්මුල් ප්‍රහාර හේතුවෙන් රෝහලේ දේපළවලට ද දැඩි ලෙස හානිවී තිබිණි. මෙම පිරිස රෝහලට ඇතුළුවී වෛද්‍යවරයා සොයමින් එහි ජනෙල් දොරවල් හා වෛද්‍ය උපකරණවලට මෙන්ම වෛද්‍යවරයාගේ මෝටර් රථයට ද අලාභහානි සිදුකර ඇත. තත්ත්වය පාලනය කිරීම සඳහා ගලහ පොලිසිය දැඩි වෙහෙසක්‌ ගත් අතර පස්‌වරුව වන විට පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සහාය ලබාගැනීමට ද සිදුවිය.

මීට පෙර අවස්‌ථාවකදී ද පාවහන් ගලවා රෝගීන්ට පැමිණෙන්න යෑයි කියූ සිද්ධියක්‌ මෙම රෝහලින් වාර්තා වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් ද පරීක්‍ෂා කර විසඳුම් ලබාදුන් බවත් ඒ හැර මෙම රෝහලේ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් වෙනත් කිසිදු චෝදනාවක්‌ නොමැති බවත් වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය සඳහන් කළාය. තත්ත්වය පාලනය වූ පසුව වෙනත් වෛද්‍යවරයකු රෝහලේ සේවය සඳහා යෙදවීමට කටයුතු කරන බවත් මෙම අවාසනාවන්ත සිද්ධියට වෛද්‍යවරුන්ගේ සම්බන්ධයක්‌ ඇත්නම් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් අධ්‍යක්‍ෂවරිය සඳහන් කළාය. රෝහලේ ගිලන්රථයක්‌ නොතිබීම නිසා ළදැරිය පේරාදෙණිය රෝහලට යෑවීමට ප්‍රමාද වූ බවද දැනගන්නට ඇතැයි ද වෛද්‍ය සමරසිංහ මහත්මිය පැවසුවාය.