මුදල් හා මාධ්‍ය යළි මංගලට : උසස් අධ්‍යාපන විජේදාසට - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, May 1, 2018

මුදල් හා මාධ්‍ය යළි මංගලට : උසස් අධ්‍යාපන විජේදාසට

ආණ්ඩුවේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද (01දා) පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

ආණ්ඩුවේ සියලුම  ඇමතිවරුන්ට අද උදෑසන 9.30 වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටින ලෙස ජනාධිපති කාර්යාලයෙන් ඊයේ (30දා) දැනුම් දී ඇති අතර කැබිනට් අමාත්‍යවරුන් පමණක්
අද දිනයේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තාවේ.

ජනාධිපති ලේකම්වරයා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා එක්ව මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී විද්‍යාත්මක විෂය බෙදීමක් යටතේ අමාත්‍යාංශ නම් කිරීම සිදුකර ඇති අතර, ඒ අනුව

අමාත්‍යාංශ සංඛ්‍යාව 43ට සීමාකර ඇති බවද වාර්තා වේ.  දැනට ඇති අමාත්‍යංශ සංඛ්‍යාව 47 කි.

එහිදී මුදල් හා මාධ්‍ය අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා යලි පත් කිරීමට ද උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතිඥ නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පත්කිරීමට ද ජනාධිපතිවරයා හා අගමැතිවරයා එකඟත්වයට පත්ව ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.

සමෘද්ධිය හැරිසන්ට 

බුද්ධ ශාසන අමාත්‍ය ධුරය සඳහා වෙනම අමාත්‍යවරයෙකු පත්කිරීම පිළිබඳවත්, සමෘද්ධි විෂයය එක්සත් ජාතික පක්‍ෂයේ පී. හැරිසන් මහතා වෙත ලබාදීමටද ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර සාකච්ඡාවක් සිදුව ඇතැයි වාර්තා වේ.
තවද අධ්‍යාපන අමාත්‍යාංශය සතුව ඇති සංස්කෘතික අමාත්‍යාංශයේ විෂයයන් ඉවත් කර එම විෂයයන් සංස්කෘතික අමාත්‍යාංශයට යටත් කිරීම සිදුවනු ඇති බවද වාර්තා වෙයි.
ආණ්ඩුවෙන් ඉවත්ව මන්ත්‍රීවරුන් පිරිසක් විපක්‍ෂයට යෑම හේතුවෙන් හිස් වූ සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන, විද්‍යා හා තාක්‍ෂණ, වෘත්තීය පුහුණු, ක්‍රීඩා, කම්කරු හා වෘත්තීය සබඳතා, ආපදා කළමනාකරණ අමාත්‍ය ධුර සඳහා නව අමාත්‍යවරුන් පත්කිරීමට නියමිතය.

අමාත්‍යංශ විෂය පථයන්වල පුළුල් පෙරළියක් :

කැබිනට් සංශෝධනය යටතේ අමාත්‍යංශ විෂය පථයන්වල පුළුල් පෙරළියක් සිදු වනු ඇති බවත් එහිදී ඇමැතිවරුන්ට දැනට හිමිවී ඇති ඇමැතිධුරවලට අයත් විෂ්‍ය පථයන් ගණනාවක්ම වෙනස්වනු ඇති බවත් රජයේ ආරංචි මාර්ග වලින් පැවසේ.

ඒ අනුව උසස් අධ්‍යාපන හා මහා මාර්ග ලෙස පැවැති අමාත්‍යාංශයත් මුදල් හා ජනමාධ්‍ය ලෙස පැවැති අමාත්‍යාංශයෙත් විෂයයන් වෙනස් වීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති සංස්කෘතික විෂයට අදාළ මධ්‍යම සංස්කෘතිය අරමුදල, අපේ ගම, ජාතික කලා මණ්ඩලය, ජාතික සංස්කෘතික කලා මධ්‍යස්ථානය, ජනකලා කේන්ද්‍රය, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, ටවර්හෝල් රඟහල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යන ආයතන සංස්කෘතික අමාත්‍යවරයා යටතට පත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.

රජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ දැනට පවතින ජාතික චිත්‍රපට සංස්ථාවද නැවත සංස්කෘතික අමාත්‍යංශය යටතට හෝ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට පත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.

පසුපෙළ කිහිප දෙනෙකුට නියෝජ්‍ය ඇමතිකම් ....

මේ අතර, පසුගිය මැතිවරණ වලදී තම බල ප්‍රදේශයන් හි ජයග්‍රහණ අත්කර දුන් එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත්කිරීමටද සාකච්ඡා වී ඇති අතර රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කරන අවස්ථාවේ දී ඔවුන්ද පත්කිරීමට නියමිත බව වාර්තාවේ.

ඒ අනුව මාතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට හා  එස්. එම්. මරික්කාර් හා මුජිබර් රහුමාන් යන කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙතත් නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමට අගමැතිවරයා එකඟත්වය පළකර තිබේ.

එක්සත් ජාතික පක්‍ෂයේ අමාත්‍යවරුන්ගේ සංශෝධනය මීට පෙර සිදු කළ හෙයින් මෙවර අමත්‍ය මණ්ඩල සංශෝධනයේදී විශාල වෙනස්කම් නොවනු ඇති බව එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.

රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් බොහෝදුරට හෙට(02දා) දිවුරුම් දීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තාවේ.

කැබිනට් සංශෝධනවලින් රටේ ගැටළු විසදන්න බැහැ - ජවිපෙ

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ, අමාත්‍ය මණ්ඩල සංශෝධන සිදුකිරීම තුළින් රටේ පවතින ගැටළුවලට විසඳුම් ලබාදිය නොහැකි බවයි.

එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව කියා සිටියේ ඊයේ (29) කැළණිය ප්‍රදේශයේ උත්සවයක් අතරතුර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.