රටට හානියක්‌ නැතිනම් '20' ට සහාය දෙනවා - සන්ධාන ලේකම්

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්‌ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත 20 වැනි සංශෝධනය හරහා රට අස්‌ථාවර වීමක්‌ හෝ රටට හානියක්‌ නොවන්නේ නම් ඊට සහයෝගය ලබාදෙන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් හා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

ඇමැතිවරයා පෙරේදා (03 දා) කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ භාරගනිමින්
අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී එබව සඳහන් කළේය.

මේ වන විට ජනාධිපති බලතල විශාල ප්‍රමාණයක්‌ අඩුකර ඇති නිසාත් 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මගින් පළාත් සභාවලට බලය බෙදීම නිසාත් රටේ ස්‌ථාවරභාවය ඇති කිරීමට විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය බවට රටේ කතාබහක්‌ ඇති වී තිබෙන බවද ඇමතිවරයා එහිදී පැවසිය.

එහෙත් 20 වැනි සංශෝධනය මෙතෙක්‌ පාර්ලිමේන්තුවට ගෙනත් නොමැති බව සඳහන් කළ ඇමැතිවරයා ඒ පිළිබඳව හොඳින් අධ්‍යයනය කර පක්‍ෂයක්‌ විදිහට මධ්‍යම කාරක සභාව හරහා එයට සහයෝගය දෙනවාද නැද්ද යන්න තීරණය කරන බවද කීවේය.

එහෙත් එම සංශෝධනය මගින් රට අස්‌ථාවරභාවයට හෝ රටට හානියක්‌ නොවනවා නම් ඊළඟට බලය ලබාගන්නේ කවුද දිනන්නේ කවුද බලන්නේ නැතිව සහයෝගය ලබාදෙන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 'ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟයි'- කුමාර වෙල්ගම

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමන් ද පක්ෂ බවයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පසුගිය 27දා පැවති මාධ්‍ය හමුවකදී එබව කියා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂය තුළ මේ සම්බන්ධව විවිධ මත පැවතියද අවසානයේ සාකච්ජාවෙන් එම සියලු මත විධායකය අහෝසි කිරීමේ මතයට ගෙන එන බව වෙල්ගම මහතා ප්‍රකාශ කර සිටියේය

Share:

Advertisement

gossip lanka

Advertisement