විශ්ව විද්‍යාල විනාශ කරන ධවල පත්‍රිකාව හකුලාගන්න

ජනරාල් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත නමින් පසුගිය සිකුරාදා ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ගැසට් පත්‍රය  සාකච්ඡාවකට හෝ ඉඩනොතබා වහාම හකුලා ගන්නා ලෙසට ආණ්ඩුවට බලකර සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඒ එය 1981දී එජාපය විසින් ගෙන එන ලද අධ්‍යාපන ධවල පත්‍රිකාවටත්
වඩා දරුණු ධවල පත්‍රිකාවක් බැවින් බව පවසමිනි.

රාජ්‍ය විශ්වවිද්‍යාල පුද්ගලීකරණය කරන සහ රාජ්‍ය මුදල් පෞද්ගලික උපාධි කඩ සඳහා යෙදවීමට පාර කපන මෙම ධවල පත්‍රිකාව වහාම හකුලා ගන්නා ලෙසට ආණ්ඩුවට එසේ බලකර සිටින බවද එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඊයේ (13) පස්වරුවේ එම පක්ෂ මූලස්ථානයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

මෙය මුළුමනින්ම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය විනාශ කරන, බඳවා ගැනීම, ප්‍රමිතිය, ආචාර්යවරුන්ගේ ප්‍රමිතිය මේ සියල්ල විනාශ කරන්නක් යැයි පෙන්වා දුන් ඒ මහතා මෙයට එරෙහිව නැගී සිටින ලෙසටත් එය මුළුමනින්ම පරාජය කිරීමට පෙළගැසෙන ලෙසටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයිද කීය. එසේම ජනාධිපතිවරයා ‍පොරොන්දු වූ පරිදි සයිටම් ආයතනය වහාම අහෝසි කරන ලෙසට ඉල්ලා සිටින්නේ යැයිද ඒ මහතා පැවැසීය.

මෙම පනත පැරදවීම සඳහා ජනතාව සමග එක්ව සිය පක්ෂය මෙයට උපරිම සහය ලබාදෙන බවද සහතික කර සිටි ඒ මහතා ලැබි තිබෙන තොරතුරුවලට අනුව සයිටම් විරෝධි අරගලයට එකතු නොවුණු අති දැවන්ත බලවේගයක් මෙයට එකතු වෙනු ඇතැයි පැවැසීය.

මෙය සම්පූර්ණයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය විනාශ කරන්නක් යැයිද පෙන්වා දුන් ඒ මහතා මෙහිදී ගැටුම ඇතිවන්නේ ආරක්ෂක අංශ සමග යැයිද සඳහන් කළේය.
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්, ආණ්ඩුවේ පෞද්ගලීකරණ ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට යාමෙන් අනවශ්‍ය දේශපාලන ගැටුමකට ආරක්ෂක හමුදාවන් ලක්වන බවත්, ඒ පිළිබඳව ආණ්ඩුවත් හමුදාවේ නායකයනුත් ආණ්ඩුවේ මෙම පුද්ගලීකරණ ව්‍යාපෘතිය ආරක්ෂක අංශ කරගසන්නට ඕනෑ ඇයි දැයි කියා  තීන්දු කළ යුතුව ඇතැයි ඒ මහතා පැවැසීය.

ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා කියූ ලෙසට කොතලාවල ආරක්ෂක ආයතනය ආරක්ෂක හමුදාවල අධ්‍යාපනය සඳහා පමණක් තබා ගන්නා ලෙසට ආණ්ඩුවට අවධාරණය කර සිටින බවද පැවැසූ ඒ මහතා එසේම විශ්ව විද්‍යා ප්‍රතිපාදන කොමිසම දැන් සිටින කළමණාකරන අධිකාරියේ කොපමණ දුර්වලතා තිබුණද එම ආයතනය යටතේ  උසස් අධ්‍යාපන ප්‍රමිතිය ලබා දිය යුතු යැයිද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

Share:

Advertisement

gossip lanka

Advertisement