16 කණ්‌ඩායම මහින්දගේ නායකත්වය පිළිගනී ! පොහොට්ටුවෙන් ඡන්ද වලට - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Thursday, May 24, 2018

16 කණ්‌ඩායම මහින්දගේ නායකත්වය පිළිගනී ! පොහොට්ටුවෙන් ඡන්ද වලට

ආණ්‌ඩුවට එරෙහිව ප්‍රබල විපක්‌ෂයක්‌ ගොඩනැගීමට ඒකාබද්ධ විපක්‍ෂය සමග එක්‌ව කටයුතු කිරීමටත්, ඉදිරි මැතිවරණවලදී තම කණ්‌ඩායමද ඒකාබද්ධ විපක්‌ෂය සමග එක්‌ව පුළුල් සන්ධානයක්‌ ලෙසින් සන්ධාන ගතවීමටත්
ඊයේ (23) සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග පැවැති
සාකච්ඡාවේදී තම කණ්‌ඩායම එකඟවූ බව 16 කණ්ඩායමේ ප්‍රධානියකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාව ඉතා සාර්ථකව පැවැති බවද හෙතෙම කීවේය.

ඔහු මේ බැව් පැවසුවේ ඇමැතිධුරවලින් ඉවත්ව විපක්‌ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ 16 දෙනාගෙන් යුත් පාර්ලිමේන්තු කණ්‌ඩායම ලෙසින් ඊයේ සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමිනි.

මෙම සාකච්ඡාව සඳහා සහභාගි නොවූවේ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පමණක්‌ බවත් ඊට හේතුව ඔහු අසනීප තත්ත්වයෙන් පසුවීම බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

විපක්‍ෂයේ පුළුල් සන්ධානයක් ලෙස එක්ව වැඩ කිරීමට සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග ගිවිස ගත් බව මෙම හමුවට සහභාගී වූ 16 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවසීය.

''ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්‌ඩායම මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය පිළිගත යුතුයි''  පොහොට්ටු පක්ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌

ආණ්‌ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්‌ඩායමට තම පක්‍ෂයේ දොර විවෘත වන බවත්, සිය පක්‍ෂය සමඟ එක්‌වන අය මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය පිළිගත යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා පසුගිය 21දා  පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියේය.

දේශපාලන පක්‍ෂයකට සිටිය යුත්තේ එක නායකයකු පමණක්‌ බවත් නායකයන් දෙදෙනකු සිටිය නොහැකි බවත් ජී. එල්. පීරිස්‌ මහතා එහිදී සඳහන් කළේය.