මිහින් ලංකා හා ශ්‍රීලන්කන් වංචා දුෂණ සොයන්න ජනපති කොමිසමක් !

මිහින් ලංකා හා ශ්‍රීලන්කන් ආයතන වල සිදුව ඇතැයි කියන දැවැන්ත වංචා හා දුෂණ සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබා ගැනීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එම කොමිසම හරහා පසුගිය යුගයේ සිදුව ඇති මහ පරිමාණයේ දුෂණ
වැලක් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි ද ජනාධිපතිවරයා විශ්වාසය පළකළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කලේ ඊයේ (22) රාත්‍රී පැවති ශ්‍රීලනිප ආසන සංවිධායකයින්ගේ විශේෂ රැස්වීම අමතමිනි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට ශ්‍රීලනිප මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජනාධිපතිවරයාගේ දිස්ත්‍රීක් සම්බන්ධිකරණ නිලධාරීන් හා නීතිඥයින් විශාල පිරිසක් ද සහභාගී වී සිටියේය.

බැඳුම්කර හොරුන්ට සමාවක් නැහැ !

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව මෙම මස අගදී ප්‍රකාශයට පත්වීමට නියමිත බවත්, එම වාර්තාව අනුව කිසියම් පුද්ගකයකු හෝ පිරිසක් මෙම මහජන දේපල කොල්ලකෑමට සම්බන්ධ බවට තහවුරු වුනොත් ඔහුගේ පක්ෂය, තනතුර, ජාතිය හා ආගම ආදී කිසිවක් නොසලකා නිත්‍යානුකුලව කටයුතු කරන බවද අවධාරණය කළේය.

'' මම පොදු අපේක්ෂකයා ලෙස පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට මගේ බැංකු ගිණුම්වල සත පහක්වත් තිබුනේ නැහැ. එහෙම එලියට බැහැල දින 49ක් තුලදී බහුතර ජනතාවක් මට ජනවරමක් ලබා දුන්නා. ඒ වංචා දුෂණ යලි කරන්න නෙමෙයි. පිරිසිදු දේශපාලනයක් කරන්න.

දැඩි තීරණ ගන්නවා :

ජනාධිපති වූ පසු මම ඒ සඳහා බලවත් උත්සහයක් කළා. වංචා දුෂණ හොයන්න කොමිසම් පත්කලා. මෙම පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ, මම දැඩි තීන්දු තීරණ ගන්නවා. පක්ෂ - පාට බේද නොසලාක හැර මෙරට පිරිසිදු රටක් කරන්න මම කටයුතු කරනවා '' යයි ද ජනාධිපතිවරයා පැවසිය.

Share:

Advertisement

gossip lanka

Advertisement