ජනපති ලේකම් සමග පැවති සාකච්ඡාවත් අසාර්ථකයි - දුම්රිය වැඩවර්ජනය අඛණ්ඩව

දුම්රිය වෘත්තීය සංගම් සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතර ඊයේ  (10) පස්වරුවේ පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා වැඩවර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව දුම්රිය එන්ජින් රියදුරු වෘත්තීය සමිති සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පවසනවා.

පස්වරුවේ ඇරඹී සාකච්ඡා රාත්‍රි 08.45 පමණ දක්වා පැවැත්වූ අතර
විසඳුමකින් තොරවයි  එය අවසන්ව ඇත්තේ.

සාකච්ඡාව සඳහා ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ජී.එස්.විතානගේ මහතා සහ දුම්රිය සාමාන්‍ය අධිකාරි මහානාම අබේවික්‍රම මහතා ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියා.

වැටුප් ගැටලු ඇතුළු ගැටලු රැසක් මුල් කරගනිමින් පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් වර්ජනයේ නිරතව සිටිනවා.

ජනාධිපති ලේකම්වරයා සහ අනෙකුත් නිලධාරීන් සමඟ මීට පෙර පැවති සාකච්ඡාද විසඳුමකින් තොරව අවසන්වුණා.

මේ අතර සියලු සේවකයින් අද සිට සේවයට පැමිණීම අනිවාර්ය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එලෙස වාර්තා නොකරන නිලධාරීන් සේවය අතහැර ගියා සේ සලකන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

දුම්රිය එන්ජින් රියදුරු, නියාමක, ස්ථානාධිපති, පාලක සහ අධීක්ෂණ කළමණාකරණ නිලධාරීන්ගේ වැටුප් තලය සංශෝදනය කිරීමට අදාළව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයත් අග්‍රාමාත්‍ය කාර්යාලයත් ඒකාබද්ධව ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලබා නොදී කල් දැමීම ර්ජනයට හේතු වී තිබෙනවා.

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් සේ සළකා පසුගිය 08 වන දා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණ ද ඊයේ දිනයේත් සේවකයින් රාජකාරී සඳහා පැමිණ සිටියේ නැහැ.

දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කිරීම සඳහා අද දිනයේ අතිරේක දුම්රිය රියදුරන් අනුයුක්ත කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළා.

නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේ පාසල් සිසුන් සඳහා නිකුත් කර ඇති දුම්රිය ප්‍රවේහ පත්‍ර අද දිනයේ සිට ලංකා ගමනා ගමන මණ්ඩල සහ පෞද්ගලික බස් රථ සඳහා ද වළංගු වන බවයි.


Share:

Advertisement

gossip lanka

Advertisement