35,000කට මරු කැඳවූ සුනාමි ඛේදවාචකයට වසර 13යි - ප්‍රධාන සැමරුම පැරූලියේදී - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස්

HotNews.lk Latest News and Gossip Updates from Sri Lanka.

gossip lanka

Tuesday, December 26, 2017

35,000කට මරු කැඳවූ සුනාමි ඛේදවාචකයට වසර 13යි - ප්‍රධාන සැමරුම පැරූලියේදී

සුනාමි ඛේදවාචකය සිදුවී අදට වසර 13ක් සපිරෙනවා. 2004 වසරේ බලපෑ සුනාමි ඛේදවාචකය හේතුවෙන් මෙරට තුළ පුද්ගලයින් 35,000 කට අධික පිරිසක් මිය ගියා.

ඛේදවාචකයෙන් තවත් පුද්ගලයින් 5,000කට ආසන්න පිරිසක් අතුරුදන් වූ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තාවල දැක්වෙන්නේ.
සුනාමි තත්ත්වය හටගැනීමට බලපෑම් ඇති වූයේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව හටගත් රික්ට පරිමාණ ඒකක 9ක ප්‍රබල භූකම්පනයක් බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් රටවල් 12කට ආසන්න ප්‍රමාණයකට දැඩි බලපෑම් එල්ල වූ අතර ලෝකයේ හටගත් දරුණුතම ස්වභාවික ව්‍යවසනය ලෙස බොහෝ දෙනෙක් මෙම සුනාමි ව්‍යවසනය හඳුන්වනු ලබනවා.
මෙම ඛේදවාචකය සිදුවී වසර 13ක් සපිරීම නිමිත්තෙන් දිවයින පුරා සැමරුම් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.

සැමරුමට සමගාමීව උදෑසන 6ට කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රියක් පිටත් වූ අතර එය පෙරවරු 8.10 ට පැරෑලිය සුනාමි ස්මාරකය ආසන්නයට පැමිණීමට නියමිතයි.

ඉන් අනතුරුව ආගමික වතාවත් සිදු කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.

සුනාමි ව්‍යවසනය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සිහි කරමින් උදෑසන 9.25 සිට 9.27 දක්වා විනාඩි 2ක නිෂ්ශබ්දතාවයක් පවත්වන ලෙස ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.