මැතිවරණය මාර්තු අවසන් වීමෙන් පසු හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක්

ලබන වසරේ මාර්තු මාසය අවසන් වීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවෙන් සම්මත වු වහාම
මැතිවරණය කැඳවීමට මැතිවරණ කොමිසමට බලය ඇති බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පෙන්වාදෙන්නේ.

පළාත් සභාවල කාලය අවසන් වීමක් මිස පෙත්සම්කරුවන් පවසන පරිදි ආණ්ඩුව විසින් සැලසුම් සහගතව පළාත් සභා මැතිවරණය කල් දැමීමක් සිදුකර නොමැති බවයි අතිරේක සොලිසිටර් ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසුවේ.

 අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, සිසිර ද අබෲ සහ නලීන් පෙරේරා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සළකා බැලුනු බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

 ඕමාරේ කස්සප හිමි සහ  සබරගමුව පළාත් සභා මන්තී‍්‍ර කාංචන ජයරත්න, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හිටපු අමාත්‍ය ජී.එල්. පීරීස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සහ නීතීපතිවරයා නම් කර ඇති බව සඳහන්.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් වැඩිදුර  සළකා බැලීම සඳහා ලබන 17 වැනිදා දක්වා කල් තැබුවා.


Share:

Advertisement

gossip lanka

Advertisement