මැතිවරණ පැමිණිලි 22ක් - 25ක් අත්අඩංගුවට

පසුගිය 09 වනදා සිට මේ දක්වා කාලය තුළ මැතිවරණ පැමිණිලි 22 ක් සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 09 ක් වාර්තා වී ඇති අතර එම සිද්ධීන්වලට අදාළව පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඊයේ දිනය තුළ පමණක් පැමිණිලි 05 ක් ලැබී ඇති බවත් අයගම, මිනුවන්ගොඩ,
මහනුවර, නවගමුව සහ පොළොන්නරුව යන ප්‍රදේශවලින් මෙම සිද්ධින් වාර්තා වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

නවගමුව, පුවක්ගහදෙණිය ප්‍රදේශයේදී මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු විසින් සිය මවට මරණ තර්ජන සිදු කළ බවට එම කාන්තාව විසින් නවගමුව පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති බව සඳහන්ය.

අදාළ සැකකරු වසර කිහිපයක් තිස්සේ මවගෙන් වෙන්ව සිටින අතර මවගේ සහෝදරයෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින වෙනත් අපේක්ෂකයෙකුගේ රැස්වීමකට සහභාගී වීම හේතුවෙන් මෙලෙස තර්ජනය කර ඇති බව වාර්තා වෙයි.

සැකකාර අපේක්ෂකයා අත්අඩංගුවට ගැනීමට නවගමුව පොලීසිය පරීක්ෂණ සිදු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මහනුවර, හන්තාන වටරවුම ප්‍රදේශයේදී ඡන්ද අපේක්ෂකයෙකුගේ නිවසකට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

මිනුවන්ගොඩ, පොල්වත්ත ප්‍රදේශයේදී ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙකුගේ හිසට බෝතලයකින් පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වෙයි. සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව සඳහන්ය.

අයගම ප්‍රදේශයේ මැතිවරණ කාර්යාලයක තිබූ කොඩි කණු කඩා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඡන්ද අපේක්ෂකයෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අයගම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පොළොන්නරුව, මනම්පිටිය ප්‍රදේශයේ දී ඡන්ද පෝස්ටර් ඉරා දැමීමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අපේක්ෂකයෙකු හට පහරදීමේ සිද්ධියක් ද වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

Share:

Advertisement

gossip lanka

Advertisement